Saturday, September 21, 2019
Hotline - 0770586666

ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය සිසු අයිතියට (PHOTOS)

324Views

 

 

 


ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය සිසු අයිතියට පත්කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

දිවයින පුරා එකම දිනක පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත් කිරීමද පසුගිය 09 වැනිදා සිදු කෙරුණු අතර ඊට සමගාමීව මෙම ව්‍යාපෘතියද දියත් කර තිබුණා.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් මෙවර එකවර සිසු අයිතියට පත්කෙරෙන පාසල් ගොඩනැගිලි 500 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10,000ක මූල්‍ය ආයෝජනයක් සිදුකර තිබෙනවා. 

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීය පාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ සිට ආරම්භ කර ඇති ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 9,064ක ව්‍යාපෘති 18,000ක් යටතේ සංවර්ධන කටයුතු සිදුකෙරෙයි.  

මෙහි සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65,000කි.

දැනට ක්‍රයාවට නැංවෙන අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරි වසර 10 ක් පවත්වාගෙන යා හැකි නම් නිසැකවම රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත වන බව ද, එම අභියෝගය භාර ගනිමින්, අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් ඉතා සාර්ථකව කටයුතු කරගෙන යාමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දරන උත්සාහය හා කැපවීම අතිශයින් අගය කරන බවද මෙහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම පාසල් අධ්‍යාපන පද්ධතිය භෞතික සම්පත්වලින් සම්පූර්ණ කිරීම මෙන්ම මානව සම්පත්වලින් සංවර්ධනය කිරීමට ද වැඩිම අවධානය යොමු කරන ලද්දේ වත්මන් රජය බවද අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් කියාසිටියා.

ඉදිරියේ දී රටේ සෑම පාසලකම සිටිය යුත්තේ, පුහුණු ගුරුවරුන් පමණක් බවද, වාහනයක් පැදවීමට රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවක් වන පරිද්දෙන්ම වසර 13ක් පන්ති කාමරය භාරගන්නා ගුරුවරයා පුහුණුවක් සහිත ගුරුවරයෙක් වීම අත්‍යවශ්‍ය වන බව ද ඒ වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.  

එමෙන්ම 21 වැනි සියවසේ දරුවන්ට 20 වැනි සියවසේ අධ්‍යාපනය නොගැළපෙන බවත්, මේ නිසා අනාගත රැකියා වෙළඳපොළ අවශ්‍යතා සමඟ ගළපමින් අධ්‍යාපනය නවීකරණයට ලක්කිරීමට රජය පියවර ගෙන ඇති බවත් අග්‍රමාත්‍යතුමන් තවදුරටත් කියා සිටියා.

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා  මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදුකළ දැවැන්තම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේ පාසල් පද්ධතියට දායාද කරන්නට හැකිවූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු  සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් එහිදී පැවසුවා.